රත්නපුර පානදුර පාරේ ඇල්ලගාව පසුකර යන එන රියැදුරන්ට මඩල හන්දියත් එපිටවලත් අතර පාළු වංගු පාරේ මහ රෑ හමුවන සුදුවත හැඳි කත ගැන මම කිහිපවිටක්ම අසා ඇත්තෙමි.
එහෙත් ඒ ගැන මගේ මතකය අවදි වූයේ පසුගිය දිනක මම හදිසියේ අසනීප වී රත්නපුර මහ රෝහලේ නේවාසිකව සිටියදී මැදියම් රැයේ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ගෙනෙනු ලැබූ තරුණයකු අව සිහියෙන් කළ නන් දෙඩවිලි ඇසෙද්දීය. මා සිටියේ ද එම වාට්ටුවේම ය.
මැදියම් රැය ගෙවී යනතුරු නින්දත් නොනින්දත් අතර ලෙඩ ඇඳ මත පෙරළෙමින් සිටි මට නොදැනීම දෙනෙත් පියවී තිබුණත් යළිත් ඒ නින්ද බිඳුණේ මා පසුකරගෙන ලෙඩකු රැගෙන ගිය ටේරාලියක කරච්චලයෙනි.
මගේ ඇඳට ඇඳන් දෙකක් පමණ පසුකර ගිය ටේරාලිය එතැන තිබුණු හිස් ඇඳක් ළඟ නැවතිණි. රෝහල් සේවකයෝ රෝගියා ඔසවා තබන්නට දැඩි වෙහෙසක් ගත්හ. ඔහු වේදනාවෙන් කෙඳිරි ගෑවේය.
ඔහුගේ කෙඳිරියටත් වඩා මට දැනුණේ බියපත්ව දොඩවන බවකි. ඔහු අස්වසන්නට හෙදියන් මෙන්ම භාරකරු යැයි සිතිය හැකි මැදි වියේ අයකුද මහන්සි ගත්තත් හිටි හැටියේම බිය පත්වූ රෝගියා ඇඳෙන් පනින්නට හදන හැටිත්, නන් දොඩවන අයුරුත් මා බලා සිටියේ දැඩි කුතුහලයෙනි.
ඒ වනවිට වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බොහෝ දෙනෙකු තම ඇඳන් මත හිඳම එබිකම් කර බැලූයේ රෝගියාගේ නන් දෙඩවිල්ල කාටත් කුතුහලයක් මෙන්ම අද්භූත වූ බියක්ද ඇති කළ හෙයිනි.
අනේ පුතේ කෑගහන්න එපා. මම තාත්තා. ඇයි පුතා බයවෙන්නේ? පුතාට තුවාල නැහැ. ඇයි ඔළුව රිදෙනවද?
රෝගියා ළඟ සිටි වැඩිහිටියා ඔහු අස්වසන්නට මහන්සි ගත්තේ දැඩි සෙනෙහසකින් සහ දරාගත නොහැකි දුකකිනි.
මදකට නිසල වූ රෝගියා හිටි හැටියේම අවදිව මොර දුන්නේය.
කෝ… කෝ… එයා… වැටුණද…? යට වුණාද… මොකද වුණේ…?
කවුද?… පුතේ… පුතා එක්ක කවුද ආවේ…? පුතා තනියෙන්නේ ආවේ. කවුරුවත් හිටියේ නැහැනේ දරුවෝ. ඔහු කීවේ දැඩි වේදනාවකිනි.
ඔහු අස්වසනා ගමන් පියා දුන් පිළිතුරටත් වඩා මා විමතියට පත්වූයේ ඔහුගේ පිළිතුරෙන්ය.
නෑ නෑ එයා නැග්ගා. මම හොඳට දැක්කා කවුද ඒ? කෝ එයා නැද්ද?
ඔහු තවත් බියෙන් මෙන් සැකයෙන්ද ඇඳෙන් බැස යෑමට තැත් කරද්දී පියා ඔහු නතර කරගන්නට දැඩි වෙහෙසක් ගත්තේ ඔහු අස්වසමිනි.
බයවෙන්න එපා. මෙයාට තුවාල නැහැ. මේ එක්ස් රේ එක ඇවිත් තියෙන්නේ. මෙයාට තියෙන්නේ කම්පනය වගෙයි. ටිකක් වෙලා යද්දී අඩුවෙයි. ආ බොන්න මේ බෙහෙත් ටික. ඔය අමාරුව ඇරිලා නින්ද යයි.
ඔහු ළඟට ආ තරුණ හෙදියද ඔහුව අස්වසන්නට වෙහෙස වූවාය.
එහෙත් ඇගේ පැමිණීමත් සමග ඔහු තවත් කලබල වෙමින් නන් දොඩන්නට වූයේය.
ආ… ආ… මෙයා නමෛයි එයා ඔළුවත් වහලා හිටියේ.
ඔහු දොඩවන්නට ගත්තේ තව තවත් බියපත්වය.
යමක් තේරුම්ගත් හෙදිය ඔහුගෙන් ඉවත් වූයේ පොවන්නට ගෙන ආ බෙහෙත් පෙති කිහිපය නොපොවාමය.
කිසිවකුත් ඔහු අසලට නොගියේ ඒ වනවිට වාට්ටුවේ විදුලි පහන් බොහොමයක් නිවා දමා තිබූ නිසාය.
මිනිහා මොකකට හරි බයවෙලා වගෙයි. මගේ ඇඳට යාබද ඇඳේ සිටි මැදිවියේ රෝගියා හිමින් කීවේ මාද රෝගියා ගැන විමසිලිමත් වන බව දැනුණ නිසාය.
ඇක්සිඩන්ට් එකක්ලුනෙ. සමහර විට ඔළුව එහෙම වැදිලා වෙන අමාරුවක්ද දන්නේ නැහැ. සමහර වෙලාවට එහෙමත් වෙනවනෙ.
මා එසේ කීවේ පැය කීපයකට උඩදී අලුත් රෝගියාට දුන් ඇඳෙහි ප්‍රතිකාර ලබමින් සිටි වෙනත් රෝගියකු මරණාසන්න තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට මාරුකර යැවූ වහාම මියගිය බවට ලැබුණු ආරංචියෙන් තරමක් කලබලයට පත්ව සිටි නිසාය.
ඒ අතර වෛද්‍යවරයාද සමග යළි පැමිණි හෙදිය රෝගියාට එන්නතක් ලබාදුන් අතර ටික වේලාවකින් ඔහුගේ කෙඳිරිය හා නන්දෙඩවිල්ලද අඩුව ගියේය.
නොදැනීම මටද නින්ද ගියේය. යළි මා අවදි වූයේ වටින් ගොඩින් එළිය වැටෙද්දී තේ බොන්න නැගිටින්න, නැගිටින්න. නැගිටින්න. දැන් එළිවෙලා. මුත්‍රා දෙන්න, ලේ ගන්න තියෙන අය එන්න කියමින් සුළු සේවකයකු හඬ නගද්දීය.
එහෙත් ඒ වනවිටත් ආගන්තුක රෝගියා සිටියේ සැප නින්දකය. ඔහුගේ සාත්තුවට සිටි වැඩිහිටියාද පේන මානයක සිටියේ නැත.
අරයට හොඳට නින්ද ගිහින් වගෙයි. මගේ හිතේ රෑ මිනිහට නින්ද යන්න බෙහෙත් දුන්නා. නැත්නම් මහ පෙරළියක් කරනවා. ෂුවර් එකටම මිනිහා මොකකට හරි බයවෙලා. ඒකනේ කියෙව්වෙ. ඔහුට යාබද ඇඳෙහි සිටි මැදිවියේ තැනැත්තා මට කිව්වේ කලින් දින සිට අප අතර ඇතිකරගෙන තිබුණු කුලුපගකම නිසාය.
මහත්තයාට නින්ද ගියා. මම එයාගේ තාත්තාත් එක්ක කතා කළා. මේ රත්නපුර පැත්තෙම ඉලන්දාරියෙක්. රෑ කොළඹ ඉඳලා ඇවිත් තියෙන්නේ. තනිවම කාරෙකේ ඇවිදින් කිරිඇල්ල හරියේදී කාරෙක හැපිලා. හැපුණ එකකුත් නැහැ. කාරෙකටත් හුඟක් ඩැමේජ්ලු. රෑ දොළහට විතර අහල පහළ අය ඇවිත් එළියට අරගෙන පොලිසියට කියලා තමා මෙහෙ ගෙනත් තියෙන්නේ.
අතේ තිබුණු ෆෝන් එකේ අන්තිම කෝල් එකට කථා කරලා තමා මිනිහව අඳුනාගෙන තියෙන්නේ. කොම්පියුටර් කාරයෙක්ලු. ඉංගිරියත් පහුවෙලා රෑ එකොළහමාරට විතර ගෙදරට කතා කරලා තියෙන්නේ.
මිනිහට නින්ද යයි කියලා බයට සැරින් සැරේට ගෙදරින් කතා කරනවලු. ඒත් අන්තිම කෝල් එක ගත්තේ නැතිලු. ඒ අය හිතලා තියෙන්නේ ෆෝන් එකට සිග්නල් නැතිව ඇති කියලයි. ඊගාවට ආව කෝල් එකෙන් තමයි දැනගෙන තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.
මට නින්ද ගිය අතරේ අල්ලපු ඇඳේ කෙනා හැම විස්තරයක්ම අහගෙන. ඒත් ගෙදර අයටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ කවුද මෙයා කියන එයා කියන එකයි.
එයා එකොළහට විතර හොරෙන් ඇවිත් තියෙන්නේ. එයාලගෙ ඥාති ගෙදරකින් කෑමත් කාලා ඒ එද්දී තනිවම තමා ඇවිත් තියෙන්නේ.
හැමෝටම දැන් තියෙන ප්‍රශ්නය තමා කවුද එයා කියන එක.
මොකද රෑ තිස්සේ එයා සිහිය එන ගමන් අහන්නේ කෝ එයා එයාට මොකද වුණේ කියලා.
එයාගේ තාත්තා ළඟට එද්දී යාළුවා කතාව නතර කළේය.
එසේ වූයේ ඒ වෙනකොට මෙයා හොයන එයා කාන්තාවක් ද යන සැකය නිසයි.
රාත්‍රියේ වැඩ මුරය අහවර කර යෑමට පෙර වාට්ටුවේ හෙදිය පැමිණ ඔහු අවදි කරගත්තේ බොහොම අමාරුවෙනි.
දෙතුන් විටක් ගුඩ්මෝනිං කියා පිටට තට්ටුවකුත් දැමූ පසුයි ඔහු හැරී බැලුවේ.
මොකද තවම නිදි. දැන් දවල්වෙලා නැගිටින්න. හෙදිය කරුණාවෙන් කීවාය.
එයා විමතියෙන් වගේ වට පිට බැලුවා. එතකොට තමයි දැනුණේ එයා ඉන්නේ ඉස්පිරිතාලේ විත්තිය.
තාත්තා එයාව වත්තම් කරලා නැගට්ටුවන්න හදද්දී එයාම නැගිටලා වාඩිවුණා. වට පිට බැලුවා.
ඇයි පුදුමවෙලා බලා ඉන්නේ. මොකද වුණේ කියලා මතක නැද්ද? හෙදිය එහෙම අසද්දී එයා අංශයට ඇඳේ ඇලවුණා.
අනිත් පැත්ත බලාගෙන.
ඇයි පුතා අමාරුද? තාත්තා ඇඳේ අනිත් පැත්තට ගිහින් පුතාගෙ ඔළුව අතගෑවා.
පුතාට අමාරුද ? පුතා නිදාගන්න. දැන් අම්මත් එයි. අම්මලා කිරිඇල්ල පොලිසියට ගියා පුතාට මොකද වුණේ කියලා බලන්න.
පොලිසිය කියනවා පුතා අවසිහියෙන් වගේ කෑගැහුවලු කාර් එකේ තව කවුද ඉන්නවා කියලා. ඒත් කිසිම කෙනෙක් හිටලත් නැහැ. හිටපු වගක්වත් නැතිලු.
හැමෝටම ලොකු පුදුමයක් පුතා ඊයේ රෑ මෙතනදිත් ඇහුවේ හෙව්වේ එයා ? කෝ කියලනෙ. කවුද එයා? කොහෙදිද නැගුනෙ. පුතා දන්නේ කොහොමද?
පුතා කිසිම කතාවක් නැහැ. බලාගත්තු අතේ බලාගෙන.
මටත් තිබුණ අමාරුව අමතකයි. මමත් හිමිහිට ඇඳ ළඟටම කිට්ටු වුණේ ලොකු කුතුහලයක් මගේ හිතට දැනුණු නිසයි.
මෙතන මොකක් හරි නොකියපු දෙයක් තියෙනවා කියන එක මට දැනුණා. ඒත් එක්කම එයාගේ අම්මා දුවගෙන ආවේ අඬාගෙන. නංගි වගේ කෙනෙකුත් ඒ එක්කම ආවා.
මගේ පුතාට දෙයියො බලලා. අනේ පුතේ අපි හිතුවේ පුතාට ලොකු කරදයක් කියලා. බැලුවම මගේ පුතාව හීරිලාවත් නැහැනෙ.
යකඩ ගොඩවල්වලට මොනවා උනත් කමක් නැහැ. අපි ඒවා පස්සේ බලමු. එයා පුතාව තුරුල් කර ගත්තා.
එතෙක් වෙලා පුතා ළඟින්ම හිටපු තාත්තා අම්මටයි නංගිටයි පුතාව බාරදීලා ඈතට වුණා.
අපි පොලිසියේ මහත්තුරුත් එක්ක පුතාගේ වාහනේ හැපුණ තැනට ගියා. පූරුවේ පිනකට තමා පුතා බේරිලා
තියෙන්නෙ. බැරිවෙලාවත් අනෙක් පැත්තට ගියානම් මොනවා වෙයිද මොනවා වුණාද කියල කවුරුවත් දන්නේ නැහැ.
අපේ වාසනාව තමා මෙයින් ගියේ. අම්මා ලොකු සැහැල්ලුවකින් කිව්වා.
පුතේ ගන්න. හාමුදුරුවෝ දුන්න පිරිත් පැන් ටිකයි නූලයි.
පුතාට බෝතලයකින් ගත්ත වතුර ටික පෙව්වේ නංගී.
අම්ම පුංචි කුප්පියකින් ගත්ත තෙල් බිංදු දෙක තුනක් නළලට ගාලා හෙමින් ඇඟිලි තුඩින් පිරිමැද්දේ පිරිත් ගාථාවකුත් කියන ගමන්.
හෙදියෝ දෙන්නා හිමින් ඈත් උනෙත් අම්මාගෙ උණසුමට පුතාට ලොකු සනීපයක් දැනුණ විත්තිය කාටත් තේරුණ නිසයි.
ආ මගේ පුතාට දැන් තුනුරුවන්ගේ සරණයි. අම්ම පුතාව තුරුල් කරගත්තේ උතුරා යන සෙනෙහසින්.
ලොකු සසුමක් පිටකරලා අප දිහා බැලුවා.
අපි රෑම පුතාගේ වාහනේ හැපුණ තැනට ගියා. පානදුර පාරේ පරණ කිරිඇල්ල පොලිසියට එහා වංගු වංගු පාර. එතන ටිකක් පාළුයි තමයි. පාළු සොහොන් කොත් දෙක තුනකුත් පේන්න තිබුණා. පොලිසියේ මහත්තයි ගමේ අයයි කිව්වේ එතන නිතර නිතරම ඔය වගේ අනතුරු වෙනවලු. මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ.
අමනුස්ස බලයකින් එහෙම වෙනවා කියලයි ඒ අය කියන්නේ. ඒත් එහෙම කිව්වට මට නම් දැන් තේරුණේ ඊට වඩා ලොකු දේව බැල්මක් හාස්කමක් එතන වෙලා කියලයි. නැත්නම් වාහනේ ගිහින් හැපිලා තියෙන විදියට පුතා මෙහෙම හීරිල්ලක්වත් නැතිව බේරුණේ කොහොමද කියලා හිතනකොටත් පුදුමයි.
ඒ වගේම තමයි අනිත් වංගුව ගත්ත නම් ඉතින් නවතින්නේ සමහර විට කළු ගඟේ වෙන්නත් තිබුණු බව අම්මා කිව්වේ කම්මුලට අත තියාගෙන.
මම මේ කතාව බොහොම සාවධානව අහගෙන හිටියෙ ලොඩාව වාට්ටුවට ගෙනාපු වෙලාවේ ඉඳලාම තිබුණු හැසිරීම් දෙඩවීම් එක්ක මගේ හිතටත් තරමක් කුකුසක් දැනිලා තිබුණු නිසයි.
වාට්ටුවට දොස්තර මහත්තුරු එන වෙලාව නිසා අමුත්තො ඔක්කොම පිට කළා.
ලෙඩ පුතාත් මූණ අතපය හොදාගෙන ගෙදරින් ගෙනා අලුත් ඇඳුම් ඇඳගත්තා. ලැබුණු ඉස්පාසුවේදී මමත් මගේ කිරිඇල්ලෙ මිත්‍රයට ඇමතුමක් ගත්තේ කාලෙකට ඉහතදි එයා කියපු කතාව මතක් කරන්න.
ඒ වෙද්දී එයා වැඩට ඇවිත් හිටියේ කාර්යාලයේ වැඩ අතරේ වුණත් එයා මාත් එක්ක කතා කරන්න උනන්දු වුණේ මා අසනීපවෙලා රෝහලේ ඉන්න බව දැනගත්තාමයි.
මම එයාට මතක් කළා කාලෙකට උඩදී දවසක් අපි නිවාඩු පාඩුවේ ඉන්න ගමන් කියපු මඩල හන්දියේ දැකපු අවතාරය ගැන. මොකද මට ලොකු සැකයක් මුල ඉඳලම දැනුණ නිසයි. ඊයේ රාත්‍රියෙත් මේ ඉලන්දාරියාට එයාවවත් පෙනුණද කියලයි. අන්න ඒ වගේ දෙයක් ඊයේ රෑත් ඔය හරියෙදිම වෙලා. එහෙන් මෙහෙන් ඇහෙන විදියට ඔයා කියපු කතාවයි මේ කතාවයි එකට එක සම්බන්ධයි වගෙයි. මම මගේ මිත්‍රයාගේ මතකය අවදි කළෙමි.
මම ගෙදර නමෛයි ඉන්නේ. මේ දවස්වල ක්වාටස්වල. ඒත් මට ගෙදරින් අහලා දැනගන්න පුළුවන්. මිතුරා කීවේ මා පෙරදින රාත්‍රියේ සිදු වූ දෙය ඔහුට කී පසුවය.
ඒ අතරතුර මම සිද්ධියට මුහුණ දුන් දරුවාගේ පියා සමගද ඇතිකරගත් මිතුරුකම අනුව දරුවාට සමීප වීමි.
ඒ වනවිට දරුවාද සාමාන්‍ය තත්ත්වයට පත්ව මගේ ඇඳ මත තිබුණු පුවත්පත්ද කියවා බලන තත්ත්වයට පත්ව සිටියේය.
එදින පුවත්පතෙහි පිටුවක් පුරා තිබුණු රුවන්පුර අධිවේගී මාර්ගයේ කථාව සහ ඔවුන් ජීවත් වන ගේ දොර සහ එම අධිවේගී මාර්ගයට යටවන බවට තිබුණ භීතිය නිසාම එම ලිපිය පුවත්පතට සැපයූ මාධ්‍යවේදියා මා වීමද නිසා ඔවුන්ට මා පෙනුණේ සුවිශේෂ අයුරිනි. එනිසාම මට ඔහුත් සමග සුහදවීම වඩාත් පහසු වූයෙන් ඔහුගේ පියාටද මා අත්‍යවශ්‍ය පුද්ගලයකු ලෙස දැනී තිබුණි.
ලොකු දොස්තර මහතාද පැමිණ ඔහුගෙන් විමසුවේ ඔහුගේ රෝගී තත්ත්වය ගැන නොව සිදු වුයේ කුමක්ද කියාය. ඒ වනවිටත් ඔහුද පෙරදින රැයේ සිදුවීම හා නන්දෙඩවිලි ගැන අසා තිබුණා විය හැක.
ඔහු තමාට දහවල් ගෙදර යෑමට හැකි බව දැන ගැනීමෙන් වඩාත් සතුටට පත්ව සිටියේය.
ඇත්තටම පුතේ ඔයාට මොකද වුණේ? කවුද ඔයත් එක්ක කාරෙකේ ආවේ? මම සුහදව ඔහුගෙන් ඇසුවෙමි.
ඇයි අංකල් මම තනිවමනේ ආවේ. මම හොරණ මාමලාගේ ගෙදරින් රෑට කෑමත් කාලා ඒ ගොල්ල නවතින්න කියද්දිත් ආවේ. මට හොඳටම මතකයි නම්බපාන පහු කරලා ඇල්ල දේවාලෙ පහුඋන හැටි. මට මතක නැහැ ඒ වෙද්දී පාර පාළු නිසා මම ටිකක් හයියෙන් ආවා. මම සාමාන්‍යයෙන් ඉස්සරහින් වාහනයක් යනවා දැක්කම තව ටිකක් වේගේ වැඩි කරගෙන ඒකට තව කිට්ටු කරනවා.
එතකොට ඔයාට මතකද වාහනේ හැපුන හැටි?
නැහැ. මට මතක නැහැ. උදේ තමයි මම ඒක ගැන දැනගත්තේ.
ඔහුගේ පිළිතුරෙන් අපි මුහුණට මුහුණ බලාගත්තේ සිදුවූයේ කුමක්ද යන්න අපටත් ගැටලුවක් වූ නිසාය.
මට හොඳට මතකයි ඇල්ලෙ දේවාලය පහුවුණාම ටිකක් පාළු හරියක් තියෙනවානෙ. ඒ හරියේ මට ඉස්සරහින් මෝටර් සයිකලයක් වගේ එළියක් ආවා. මම වේගේ වැඩි කරලා ඒකට කිට්ටු කරන්න ගියා. ඒත් ඊළඟ වංගුවේදී ඒක මට පෙනුණේ නැහැ. මම හිතුවේ ඒක හන්දියෙන් හරවන්න ඇති කියල.
මම තව ටික දුරක් යද්දී ආයෙමත් මට ඉස්සරහින් අර එළිය පෙණුනා. මට හොඳට පෙණුනා සුදු ඇඳගත්ත කෙනෙක් ඒ එළියත් එක්ක යන හැටි.
ඔහු එසේ කියන අතරම මා මුලින් කිවූ මිතුරාද මා බලන්නට රෝහලට ආවේ මගේ සුවදුක් බලන්නටම පමණක් නොව ඔහුගේ ගමේදී අනතුරට පත් තරුණයාගේ තොරතුරු ද දැනගන්නා අටියෙන්ය.
ඒක ගැන ඔයා පත්තරේට ලියනවා නම් නම ගම විස්තර ඇතුව ලියන්න එපා. එහෙම වුණොත් අපේ ගම හොල්මන් ගමක් වෙලා මහා ජංජාලයක් වෙයි.
ඒත් මේකේ ඇත්ත නැත්ත හදන්න හොයන්නත් එක්කම පුළුවන් නම් එන්න දවසක් දෙකක් අපේ ගමේ ඇවිදලා පරණ මිනිස්සුන් එක්ක කථා කරලා විස්තර දැනගත හැකියි.
මට ඇරයුම් කළ මගේ මිතුරා රෝගීන් බලන වෙලාව ඉක්ම යමින් තිබුණ බැවින් මට සමුදුන්නේය.
මම රෝගී තරුණයාටත් ඔහුගේ පියාටත් මගේ මිතුරාව හඳුන්වා දුන්නෙමි. මගේ මිතුරා අනතුර සිදු වූ ස්ථානයට ඉතාම සමීපයේ පදිංචිව සිටින්නෙකු නිසා ඔවුන් හඳුනා ගැනීමේ කැමැත්ත වඩාත් වැඩිවිණි. මම ගෙදරට කතා කරලා විස්තර අහගන්නවා. ඔයාගේ වාහනේ හැපිලා තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුවමනේ. ගමේ අයත් පුදුමයි ඔයා බේරිලා තියෙන බේරිල්ලට මොකද මෙතන වාහන කීයක් නම් පහළට ගියාද? කී දෙනෙක් නම් මැරුණද? මෙයාට දෙයියෝ බලලා වගෙයි. මගේ මිතුරා කීවේ තරුණයාගේ හිත සනසවමිනි.
මොකද ඔයා කිය කියා හිටියේ මම එද්දී ඉස්සරහින් එළියක් ආවා කියලා. මගේ මිතුරා පෙරළා ඔහුගෙන් විමසුවේය.
නෑ අංකල් මට දුරට හඳ එළියට ඒක එළියක් වගේ දිලිසුණා. ළඟට එද්දී ඊට වෙනස්. හරියට මට පෙනුණේ කවුද ඉස්සරහින් දුවනවා සුදු පාටට ඒත් සැරින් සැරේට පේනවා නොපෙනෙවා වගෙයි. මට හරියට හිතාගන්න බැරි වුණා.
අන්න ඊළඟ වංගුව ගන්නකොට ඒ සුදට පෙනුණ දේ මග නැවතිලා මට හොඳටම විශ්වාසයි එතන ඉන්නෙ ගෑනු කෙනෙක් කියලා. සුදු සාරියක් ඇඳලා පොට ඔළුවට දමලා.
මම දන්නෙම නැහැ මට ඉබේම බේ්‍රක් එක පෑගුණා වගේ දෙයක් වුණා. මොකද මගේ හිතේ ඒ වෙද්දී ලොකු සැකයකුත් එක්ක බයක් තිබුණා. මට නිකමට දැනුණා එයා මගේ කාරෙකට නැග්ග වගෙත්.
එතනින් එහාට මට මොනව වුණාද කියලා මම දන්නේ නැහැ.
මේ බලන්න දැනුත් මගේ ඇඟ හිරිගඩු පිපිලා මට ආයෙම ලොකු බයක් දැනෙනවා. මගේ මිතුරා ඔහු අස්වන්නට ළඟට ආවේ ඔහුගේ දැත් අල්ලාගෙනය. එපා පුතා බයවෙන්න. ඒක එහෙම හඳ එළිය තියන දවසට ඉබේටම පේන මායාවක් වගේ දෙයක් මිසක හොල්මනක් අවතාරයක් නමෛයි පුතා හිත හදාගන්න. අපේ ගමේ අය කොතෙකුත් ඔහොම දේවල් ඔතෙනදි දකිනවා. ගණන් ගන්නේ නැහැ.
ඒ අතර ටිකට් කපාගෙන ලෙඩුන්ගේ තුණ්ඩු ලියාගන්නට එන ලෙස වාට්ටුව භාර හෙදිය ඔහුට කතා කළා.
ඔහු රෝගීන් බලන කාමරයට ගිය පසු මගේ මිතුරා යළිත් කතාව පටන් ගත්තේය.
එයාගේ සැකේ හරි. මම දවසක් කියපු කතාවත් ඕකට සම්බන්ධයි. ඒක වෙලා දැනට අවුරුදු 10කට වැඩියි. හරියටම මහ ඡන්දෙට කලින් දවසෙ රෑක. ඒත් දෙගොඩ හරිය පහුවෙලා. මම ඡන්දපොළවල් ගණනාවක ගියා කලවාන ආසනේ. එනකොට ඔය කැටේපොළ පාලම දමපු අලුතමයි. අයගම ගවරගිරිය පැත්තෙන් ඇල්ලගාවට ඇවිත් එතැනින් පාර රත්නපුර පාරට වැටුණෙ.
මගේ රියැදුරු අයගම කෙනෙක්. මම එයාව අයගමින් බස්සලා තනියම ගෙදර ආවේ. ආයේ උදේම එයාව යන ගමන් ගන්න හිතාගෙන මම පානදුර, රත්නපුර පාරට දමලා ටික දුරක් යද්දී මට පෙනෙන්නට අමුතු එළියක් මට ඉස්සරහින් යනවා.
මට හිතාගන්නත් අමාරුයි ඒ එළිය මොකක්ද කියලා. වැඩිය සැකේකුත් නැහැ.
මම කිට්ටු කරන්න වේගේ වැඩි කරද්දී මට එළිය පෙන්නෙ නැතුව යනවා. මම හිතුවේ පාරේ වංගුවලට නොපෙනී යනවා කියලා ඔන්න මඩල හපුතලේ එපිටවෙල කිට්ටු වෙද්දී හිටපු ගමන් අර එළිය වගේ පෙනුණ දේ මග නැවතිලා මට පෙනුණේ ගෑනු කෙනෙක් සුදට ඇඳලා ඔළුව හිට වහගෙන මගේ වාහනේට නගින්න එනවා වගේ. මගේ නෝනටත් මගේ කලබලය දැනුණා. ඒත් මම ඒක එයාට දැනෙන්න ඇරියේ නැහැ. මොකද අපි ඔතන ගෙය හදාගෙන ඇවිත් පදිංචි වුණෙත් ළඟදී. අපේ ගදර හිටියේ දරුවෝ දෙන්නයි නෝනයි මමයි. ඒ වෙද්දී දරුවොත් පොඩියි. එහෙම කිව්ව නම් ඒ ගොල්ල ගෙදර තනියම දමලා මම ගමන් ගිහින් හමාරයි.
ඒත් මට නම් එදා රෑ නින්දෙනුත් පෙනුණ මගදි දැකපු ඒ ගෑනු රූපෙ. ඒ විතරක් නමෛයි මට පහුවදා ඡන්ද රාජකාරි කරන අතරතුර කිහිප වතාවක් වැසිකිළි යන්න වුණෙත් ඒ නිසා කියලයි මට හිතුණේ. ඒත් මම ඒක එතනින් එහාට හිතුවේ නැහැ. පස්සේ පස්සේ තමා දැනගත්තේ එතන ඔයවගේ ගෑනු කෙනෙකුගේ අවතාරයක් කලින් කලට සක්මන් කරනවා කියලා.
ඒ විතරක් නෙවෙයි මොකක්ද භූත බලපෑමකින් ගමේ ගෙවල් කිහිපයක්ම පාළුවට ගිහින් කියලත් කියනවා.
මට හිතෙන්නේ මේ ඉලන්දාරියටත් වෙලා ඇත්තේ එදා මට වුණා වගේ දෙයක්. ඔතනින් ගියා ඇති. වාහනේ පහළට පෙරළිලා මිනිස්සු මැරුන වෙලාවලුත් තියෙනවා.
තව එකක් කියනවා නම් අනේ මම මේ විස්තර කිව්වට මගේ නම ගම ලියන්න එපා. හුඟක් අය මේ කතාව දන්නවා වුණාට කියන්නේ නෑ.
කැමැති නැහැ ගමට මදිකමක් වෙයි කියලා.
සමහරු මේ හොල්මන් අවතාර කතාව නිසා ගෙවල් දොරවලුත් අත ඇරලා දැනටත් ඒ වගේ පාළුවට ඇරුණ ගෙවල් කීපයක්ම තියනෙවා. දවාලටත් ගමේ ගෑනු අය ඒ ගෙවල්වලට යන්නේ නෑ.
ඒක කාට හරි පරීක්ෂණයක් කරන්න වුණත් පුළුවන් කතාවක් කියලයි මට හිතෙන්නේ. මගේ මිතුරා කතාව නිම කළේ තවත් අලුත් අදහසක්ද ඉදිරිපත් කරමිනි.
උපුටා ගැනීම : http://www.citizen.lk March 2017
Comments