මුදලිහාමි පළාතම නම ගිය ගුප්ත ආචාර්යවරයෙකි. තෙල් පිරිත් කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ඇප නූල් බැඳීම, බලි තොවිල් ඔහු ඉගෙන ගත්තේ ඉතාම දක්‍ෂ ඇදුරෙකුගෙනි. ඔහු අවුරුදු හතළිහකට කිට්‌ටුය. උසය. උසට සරිලන මහත ඇත. ඇඟ කාල වර්ණය. පිට මැදට දිග ඇති කොණ්‌ඩය ඔහු උඩට කර ගැටගසා ගනියි. ගෙදරට හා ළඟ ගමන් බිමන්වලට ඔහු ඇන්දේ සරමකි. අත් දිග මේස් බැනියමකි. ඈත වැදගත් ගමනක් යන විට රෙද්දක් හැඳ හවඩිය බඳී. මේස් බැනියම උඩට කබායක් පළදී. ඉතා අසීරු බලි තොවිල්වලට ඔහු ඈත පළාත්වල ද යයි, එයි. එහිදී ඔහුගේ ආවතේව වැඩවලට බයක් සැකක් ගෑවී නැති ගෝලයන් දෙදෙනෙක් එක්‌ව යයි. මෙවර මුදලි හාමිට බලගතු තොවිලයක් සඳහා ගමට අල්ලපු ගමෙන් ආරාධනා ලැබුණේය.
ඔහු හමුවීමට ආ අයට සූදානම් කර තැබිය යුතු ද්‍රව්‍ය ලැයිස්‌තුවක් උපදෙස් හා අය කරන මුදල ද විස්‌තර කර දුන්නේය. ඒ ආ අය ඔහුගේ මුදල ගෙවීමට පොරොන්දුව පිටත් වූහ. මුදලිහාමි ඔහුගේ සහයකින් දෙදෙනාට ද දිනය හා ගමන ගැන කල්වේලා ඇතුව දැනුම් දුන්නේය. ඒ ගමන සූදානම් වීම සඳහාය.
"මේක බොහොම පරිස්‌සමෙන් කරන්න ඕනෑ තොවිලයක්. අපි කවුද කියලා ඒ ගමේ අය ඔක්‌කොම අඳුරනවා. අනෙක සොහොන් පිට්‌ටනිය තියෙන්නේ පාර අද්දර, ඒ නිසා වැඩියෙන් පරිස්‌සම් වෙන්න ඕනෑ, ගමේ කාටවත් නොදැනෙන්න, නොපෙනෙන්න ඔක්‌කොම සිද්ධ වෙන්න ඕනෑ. එදා තිත්ත කරුවල මාසේ පෝය දවසක්"
තොවිලය භාරගෙන සිටියදී අතවැසියන් දෙදෙනාට තද ගැටලුවක් මතු විය. ඒ දෙදෙනා එක ළඟ නිවෙස් ඇති දෙමස්‌සිනාවරුන්ය. එක් අයකුගේ පියා රෝගාතුරව රෝහලට ඇතුළු කළ පසු ප්‍රතිකාර ලබද්දී මිය ගියේය. හරියට ම තොවිලය නියමිත දාට පියාගේ මළ සිරුර රෝහලෙන් ගෙන ඒමට යැමට තිබුණේ මේ දෙදෙනාටය. ඔවුහු වහා පැමිණ මුදලිහාමිට සිද්ධිය සැල කළේය.
"දැන් මොකද කරන්නේ"
නළලට අත තබාගෙන කල්පනා කරන්නට විය.
"උඹලා දෙන්න නැතුව මරණය ගේන්නත් බෑ, ගිය ගමන් මරණය ගේන්නත් අමාරුයි, වෙලා යනවා, උඹලා මළ ගෙදර ඉන්නත් ඕනා, මට භාරගත්තු තොවිලේ කල් දාන්නත් බෑ, දැන් මොකද කරන්නේ උඹලම කියාපන්."
මුදලිහාමිගේ සඟයින් දෙදෙනා එකිනෙකාගේ මුහුණ බලාගෙන කල්පනා කරන්නට වූහ. නැවතත් ඔවුහු කතාව ආරම්භ කළහ.
"අපි නැතිවුණාම ගුරුන්නාන්සේ උදවුවට ගන්න සිරිසේනයි, පියසෝමයි වැඩට ගන්න පුළුවන්. පොඩි පොඩි වැඩ කීපයකටම ඒ දෙන්නා උදවුවෙලා තියෙනවා."
"ඒ අදහස හොඳයි"
මුදලිහාමිද එකඟ විය. ඒ අනුව මුදලිහාමි සිරිසේන හා පියසෝම කැඳවා මුල සිට අගට කළ යුතු වැඩ කොටස දෙතුන් වරක්‌ම පැහැදිලි කර දුන්නේය.
"උඹල දෙන්නට පුළුවන් ද ඔය කියපු විදිහට වැඩ කරන්න, බයද. උඹලගේ මහන්සියට හොඳට ගෙවන්නම්, බයද. පුළුවන්ද, කෙළින් කියාපන්."
සිරිසේන හා පියසෝම ඔහුගේ උපදෙස් අනුව වැඩ කිරීමට පොරොන්දු වූහ.
"උඹල මාසේ පෝය දවසේ කළුවර වැටෙන කොට මගේ ගෙදරට වරෙන්, එදාට ආයෙත් උපදෙස් ටික දෙන්නම්, අරන් යන්නට දේවල් කිහිපයකුත් තියෙනවා, එහෙනම් වරද්දන්නේ නෑ මතකද?"
අමාවක පෝය දිනය උදා විය. මුළු පරිසරයම තිත්ත කළුවරය. අහස ද වැහි වලාකුළෙන් පිරී ඇත. වැහි වලාකුළු නැති දෙතුන් පළක තරු කැට කීපයක් දිලිසෙයි. පරිසරය පුරා කන් බිහිරි කරන රැහැයි හඬ පැතිරෙයි. තිත්ත කළුවර කපාගෙන තැනින් තැන කණාමැදිරියෝ ඉඟිලෙති.
මුදලිහාමිගේ නිවසට රහසිගතව පැමිණි සිරිසේන හා පියසෝම බලගතු තොවිලයට අවශ්‍ය උපකරණ තෙල් පිරවූ පන්දම් හා වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය කර මත තබා ගත්හ.
බෙහෙවින් රහසිගතව අඩි පාරවල් දිගේ තොවිල් ගෙදරට ගිය ඔවුහු ලෙඩාට ඇප නූලක් බැඳ අවශ්‍ය ආරක්‍ෂාව සලස්‌වා ගමේ සොහොන් බිම වෙත ගමන් කළහ.
"රෑ දොළහ එක වෙනකොට අපි ගෙදර එනවා, කියපු විදිහට සූදානම් කර තබන්න"
මුදලිහාමි සොහොන් බිමට ගොස් අලුත් අතවැසියන් දෙදෙනාට අලුත් සොහොනක පස් අඩියක් පමණ ගැඹුරට ඉවත් කිරීමට උපදෙස් දුන්නේය.
"දැන් කිසිම දේකට බයවෙන්න එපා. මේ එන එන රූපවලට දෙන්න ඕනා පූජා පිදවිලි පිළිවෙළට තියලා තියෙනවා. උඹලා කරන්න ඕනා ඒ පූජා ඒ එන අයට බය නැතුව දෙන එක විතරයි."
මුදලිහාමි මන්ත්‍ර කිහිපයක් මතුරා දුම්මල අල්ලා සෑරූ මිනීවළ මත දිගා වී මන්ත්‍ර ජය කිරීමට විය. අතවැසියන් දෙදෙන ඒ ළඟ ඔහු දෙපසින් සිටගෙන හුළු එළි දල්වා ගෙන සිටිති. පරිසරය මෙන්ම ඒ අසලින් විහිදී ඇති පාරද තිත්ත කළුවරලට වැසී ඇත. මුදලිහාමිගේ මන්ත්‍ර ජප කිරීම වේගවත් වෙයි. ඒ සමඟ දුම්මල අහුරක් සේවකයෙක් ගිනි කබලට දැමුවේය. ගිනි අඟුරු සැරට ගින්දරත් සමඟ දුම්මල සුවඳ අවට පැතිර ගියේය.
ගතවූයේ විනාඩි දෙක තුනකි. මිනිස් කකුලක් තරම් දැවැන්ත නාග රාජයෙක් පෙණය පුම්බාගෙන මුදලිහාමි දෙසට එන්නට විය. දී ඇති උපදෙස් අනුව අතවැසියෝ ඌ ඉදිරිපිට කිකිළි බිත්තරයක් තැබුවේය. බිත්තරය මුවට ගත් නාග රාජයා ඈත කළුවරට ඇදී ගියේය.
තවත් විනාඩි පහක් පමණ ගතවිය. මන්ත්‍ර හඬ තදින් ඉහළ යයි. දත් විළිස්‌සා ගත් වඳුරෙක් පැන පැන අවුත් මුදලිහිමි ළඟ නතර විය. පුළුටු අඩංගු රොටියක් දුන් විට වඳුරා එය දැතින් රැගෙන අඳුර මැද අතුරුදන් විය.
ඊළඟට මුළු පළාත දෙවනත් කරමින් ආවේ විහිදුනු දළ ඇති ඇත් රජෙකි. ඌ දළවලට ඉහළින් හොඬය ඔසවා ගෙන මහත් හඬින් පිඹිමින්, බිම පස් හූරමින් ඔවුන් වෙත එයි. මුදලිහාමිගේ උපදෙස් අනුව ඇතාට දීමට තිබුණේ උක් ගසකි. උක් ගස හොඬවැලෙන් ගත් වූ හැරී ගියේ නැත. මුදලිහාමි මතුරන ස්‌ථානයටම පැමිණ බියකරු ලෙස හොඬවැල තදින් කරකැවීමට විය. බිම සූරමින් මුදලිහාමි ඉදිරියට ම ඒමට විය. ඌ ආපසු යන පාටක් දක්‌නට නැත. සිරිසේන හා පියසෝම ගල් රූප මෙන් ගොළු වී ඇත. ඇතා තව මොහොතකින් ඔවුන් වෙත කඩා පනින බව පෙනෙන්නට විය. වහා ගිනි පන්දම් දෙකක් දල්වා ගත් ඔවුන් දෙදෙනා මුදලිහාමි තනිකොට සොහොන් පිටියෙන් පාරට පැන පස්‌ස නොබලා අඩි පාරවල් දිගේ මුදලි හාමිගේ නිවසට දුවගොස් නැවතුණහ. හති දමමින් බැගෑපත්ව එහි සිටි අයට සිදුවූ දේ විස්‌තර කළහ. ඉන් පසු ඒ අවට සිටි පිරිමි තුන් හතර දෙනෙක් ඒ දෙදෙනා කැටුව පන්දම් එළි දන්වා ගෙන සොහොන් බිම වෙත ගියහ. ඒ යන විට මුදලිහාමිගේ මුහුණ පුරා නියපොතු පහරවල් විය. මුව දෙපසින් ලේ ධාරා දෙකක් ගලා යමින් තිබිණි. ඔවුහු මුදලිහාමිගේ සීතල සිරුර අඩිපාර දිගේ ඔහුගේ නිවසට ඔසවා ගෙන ගියහ.
(සත්‍ය සිදුවීමකි)
උපුටා ගැනීම: දිවයින - වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. කේ. ජයවර්ධන
Comments